Saturday, December 2, 2017

ශෝක ප්‍රකාශක කවි

කවි කොල 

ඇත්ත වශයෙන්ම මෙම කවි කොල යනු කුමක් දැයි වර්තමාන පරපුරේ සෑහෙන පිරිසක් නොදන්න බව නොඅනුමානය. 

අතීතයේ අවමංගල උත්සවයයන් වලදී ශෝක ප්‍රකාශ කවි තරුණියන් විසින් ගායනා කරනු ලබයි.එය කවි කොල ලෙස හඳුන්වනු ලබයි.


බොහෝදෙනා ගායනා කරන මෙම කවි භූමිදානය හෝ ආදාහනය කරන්න්නට ඔන්න මෙන්න තිබියදී කදුලු සලමින් ඉදිරිපත් කරයි. 

ඒ කලයේ මෙම කවි පංතීන් සමහර විට එම අවමඟුල වෙනුවෙන්ම අලුතින් සාදන ලද ඒවා වේ. තවත් සමහරක් එදා
" අච්චු කන්තෝරු " නම් ප්‍රසිද්ධ මුද්‍රණාල වල තිබුන ඒවා විය. එහිදි තමන්ගේ අවමඟුලට ගැලපෙන ලෙස පද වෙනස්කර ගැනීමට ඔවුන්ට හැකි විය. 

සමහරක් ශෝක ප්‍රකාශක එක ගමක් නියෝජනය වන පරිදි ගමේ කිහිපදෙනෙක් මුදල් යොදවා මුද්‍රණය කරවන්නට විය.

මෙම කවි කොල උසස් සාහිත්‍ය නිර්මාණ ලෙස සැලකිය නොහැකි අතර කාව්‍යාක්ත්‍යට අනුචිත නොවන පද ඇතුලත් වූ සිවු පද කිහිපයක එකතුවක් පමණි. 

කෙසේ වෙතත් කවි කොල අද වන විට අප ජනශ්‍රැතියෙන් අභාවයට පත්ව යන්නාවු අංගයක් ලෙස හැඳින්විය හැක.


  

Wednesday, November 29, 2017

ගත සිත සුව කරනා හෙළ වෙදකම

කෙම් ක්‍රම 

අතීත කෙම් ක්‍රම පිළිබඳව සොයා බැලීමේදි අපට පෙනී යන්නේ හෙළ වෙදකමේ තවමත් ඉතිරිව පවතින අංගයන් දෙකක් ලෙස අත් බෙහෙත් හා කෙම් ක්‍රම හඳුන්වා හැකි බවයි. 

කෙම් ක්‍රමවල දක්නට ඇති විශේෂත්වය වන්නේ මානුෂීය ගුණයට අමතරව ජෝතිෂය, ඇදහිලි, ගුප්ත විශ්වාස, වත්පිලිවෙත්, මෙන්ම ඇස්වහ, කටවහ, ආදීයේ බැදීමක් තිබීමයි. එමෙන්ම කෙම් ක්‍රම රහසි ගත වේ. 

විවිධාකාරයේ කෙම් ක්‍රම පවතින අතර ඉන් කිහිපයක් පහත දැක්වේ.

  • දත් රෝගය    
දත් පණුවන් කන විටදී වම් පැත්තේ නම් වම් පැත්තේ පාදයේ මහපට ඇඟිල්ලේ නියපොත්ත උඩ නියඟලා අල කැබැල්ලක් කතා නොකර බඳියි.

  • ඇස්වහ කටවහ දුරු වීමට 
සෙනසුරාදා දින වල සවස කතා නොකර වතුර බඳුනක් ගෙන අඟුරු, වී ඇට, කජු පුහුලන්,කහ,ලුණු කැට,ගම්මිරිස් දමා කොළ හතක් ඇති දෙහි අත්තක්ද දමා අලුයම කපුටන් කෑගසීමට පෙර ඇස්වහ කටවහ දුරුවෙන ලෙස පවසා දෙහි අත්තෙන් ගසනු ලබයි. 

  • ඇසේ නගනයක් එන විට    
තුත්තිරි ගසේ බඩේ ඇති යුෂ ගෙන කතා නොකර නගනයේ ගාන්න. මැටි නෑඹිලියක ලුණු කැටයක් උරච්චි කර නැගනහිර බලා කතා නොකර ගානූ ලබයි.

  • කුඩා ළමුන්ට කක්කල් කැස්ස සෑදුන විට  
උදේ කපුටන් හැඩීමට පෙර කැහි පෙත්තා වැලක් ළග පොල්තෙල් පහනක් දල්වා එම වැල ගලවා රෝගී ළමයාගේ කරේ බඳියි.

  • බඩේ අමාරුව හැදුන විට 
බෙහෙත් එඩෙරු ගසේ පොත්තක් ගෙන පහත සිට උඩට ගලවා ඉනේ බැදීමෙන් බඩේ අමාරුව නැවතේ.

  • දවස් දෙක තුනකට වරක් සෑදෙන උණ 
මුරුංගා පොතු, දිවුල් පොතු, වරකා පොතු, අමු කහ, එකට අඹරා පිරිසිදු රෙදි කැබැල්ලක් දවටා මල් බුලත් තට්ටුවක පේකර උණ ගැනීමට පෙර හා කපුටන් හැඩීමට පෙර රෝගියාගේ අතේ බඳියි. 

  • ඇඟිල්ලක් උලුක්කු වූ විට 
අනෙක් අතේ සමාන ඇඟිල්ලෙන් පිරිමැද්ද විට හොඳවන බව විශ්වාසයවේ.

  • ඇගේ ඉන්නන් ඇතිවු විට 
කතා නොකර ඉන්නන් ගණන් කර එයට සමාන පරිදි ගල් කැට අහුලා එක ඉන්නෙකු තුවාල කර කහ දියරයෙන් සේදූ තඹ කාසියක් තුවාල කල ඉන්නන් මත අතුල්ලා එම කාසිය තුන්මංසලක හෝ සිවිමංසලක දැමීම ඉන්නන් නැති කර ගත හැකිය.


Monday, November 27, 2017

අමතක වී යන අපේ කම

ජන ක්‍රීඩා 

           ජන ක්‍රීඩා පිළිබඳව කතා කිරිමේදී අපට පෙනී යන්නේ අද වන විට සමජයේ වූ කාර්‍ය බහුලත්වයත් සමඟ සියලු දෙනාගේ ජීවිත වලින් මේවා ගිලිහී යන ආකාරයයි. අතීත ජනයා තමන්ගේ වෙහෙස මහන්සිය නිවා ගැනීමටත් වින්දනයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව ජන ක්‍රීඩාවේ යෙදෙන්නට විය. නමුත් අද වන විට බක් මහේ අවුරුදු උත්සවය පමණක් ජන ක්‍රීඩා කොටු වී ඇති අතර එකිනෙකා පරදවා ජයග්‍රහණයන් ලබා ගැනීම සඳහා ජන ක්‍රීඩා භාවිතා කරයි.  කෙසේ වෙතත් එකල ජන යා අතර ජන ක්‍රීඩා නිසා සාමාන්‍ය ජනතාව අතර සහයෝගය, සතුට,විශ්වාසය, බැඳීම් වැඩි දියුණු විය. 
           
   ජන ක්‍රීඩාවන්ට උදාහරණ ලෙස කොප්පර කොප්පර පිපිඤ්ඤා, මේවර කෙළිය,  එලුවන් කෑම, පොරෝ සෙල්ලම, පනා හැංගීම,කජු ක්‍රීඩාව, රබන් ගැසීම, ඔන්චිල්ලා පැදීම, පංච කෙළිය, චක්ගුඩු පැනීම, කඹ ඇඳීම, ඔලිඳ කෙළිය, යනාදිය හඳුන්වා දිය හැකිය. 


කොප්පර කොප්පර පිපිඤ්ඤා

බොහෝ ළමුන් පිරිසක් සහභාගි වන මෙම ක්‍රීඩාව ආරම්භයේ සියලු දෙනාම රවුමට සිට ගනී. අතු කැබැල්ලක් අරගත් එක් අයෙකු රවුම වටේ අනෙකුන් හා සංවාදයක්  ගොඩ නගා ගනිමින් ගමන් කරයි. 
 රවුමේ සිටිනා අය "කළ ගෙඩි, කළ ගෙඩි" යැයි පැවසූ විට වටේ ගමන් කරන්නා "බෝතල, බෝතල" කියමින් රවුම වටේ දුවන අතර අත්ත තවකෙකුගේ අතේ තබයි. වටයක් අවසානයට පෙර අත්ත හිමි තැනැත්තා වටේ යන්නා ලුහුබැදීම හෝ අත්තෙන් පහරදීම කළ යුතුය.

මේවර කෙළිය 

 මෙම ක්‍රීඩාව කාන්තාවන්ගේ ක්‍රීඩාවකි. මේවරය යන්නෙන් අදහස් වන්නේ කණ පලදින ආභරණයක්, වළල්ලක් හෝ මෙහෙකරුවෙක් වේ. එක් කාන්තාවක් තමන්ගේ මේවරයා දුටුවාදැයි මිතුරන්ගෙන් ප්‍රශ්න කරන අතර ඔවුන් එය නොදුටු බවට දිවුරයි. නමුත් එය සඟවාගෙන සිටින්නේත් ඔවුන්මය. මෙම සිදුවීම සංවාදමය ගීතයක් ලෙස ඉදිරිපත් කරනු ලබයි.

 එලුවන් කෑම   

පිල් දෙකකින් යුතු මෙම ක්‍රිඩාවේ එලුවකු හා කොටියෙකු අතර ඇති දෙබසක් මෙමගින් නිරූපණය කරයි. තරගයේ ස්වාභාවය අනුව වචන උස් පහත් කරමින් ගායනය හා රංගනය සිදු වේ.

  පොරෝ සෙල්ලම

මෙම ක්‍රීඩාවෙහිදි පිල් දෙකකට බෙදී කවියෙන් අසන ප්‍රශ්න වලට කවියෙන්ම උත්තර දෙනු ලබයි.
ගොඩේ මන්නේ                            මොටදෝ 
පොරොව ගෙනෙන්නට              නොවෙදෝ 
පොරව ගෙනෙන්නේ                    මොටදෝ 
ගහක් කපන්නට                        නොවෙදෝ 


පනා හැංගීම

මෙම ක්‍රීඩාවෙන් යම් භාණ්ඩයක් සඟවා එය සෙවීමට උත්සහ කරනු ලබයි. 

කෝ නෑනේ    පනාව 
යට ලීයේ         පනාව 
අරන් දියන්      පනාව
  ගිහින් ගනින්    පනාව  


      කජු ක්‍රීඩාව       

මේ ක්‍රීඩාව සඳහා කජු ඇට හයක් අවශ්‍ය වන අතර එම කජු ඇට සියල්ල එකවර උඩ දමා බිම වැටුණු විට ඒවා අතර ඇඟිල්ලකින් ඉරක් අඳිනවා. කජු ඇට නොගෑවෙන ලෙස ඇඟිලි යැවුනොත් ඒ කජු එම පිලට අයිති වේ. 

 රබන් ගැසීම
             
මෙම ක්‍රීඩාව ආරම්භ වීමට පෙර රබන් පදයකින් බුදුන්ට හා දෙවියන්ට වැඳ අවසර ඉල්ලනු ලබයි. රබන් සුරල් වැයිම, අත් මාරු කිරීම, තාලන් ලෙස රබන් වාදනයේ පියවර තුනකි. 
රබන් සුරල් වැයිමේදී රබාන වටා හය දෙනෙක් වාඩි වෙයි. තිදෙනෙක් රබාන වාදනය කරන අතර අනෙක් තිදෙනා රංගනයේ යෙදේ. අත්මාරු කිරිමට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සහභාගි වෙයි. තාලන් වලදී මුලින් ගීතයක් ගායනා කල පසුව එය රබානෙන් වාදනය කරනවා.


ඔන්චිල්ලා පැදීම

වයස් බේදයකින් තොරව මෙම ක්‍රිඩාවේ සෑම දෙනාම යෙදෙන අතර මෙහිදි ගායනා කරනු ලබන කවි ඔන්චිලි වාරම් වේ.


පංච කෙළිය

මෙම ක්‍රීඩාව පිල් දෙකක් හෝ පුද්ගලයන් දෙදෙනකු හට ක්‍රීඩා කල හැකිය. එක් පිලකට සිටින්නේ ක්‍රීඩකයන් ඉරට්ටේ සංඛ්‍යාවක් වේ.ක්‍රීඩාව ආරම්භ කිරීමට නම් ඔණ්ඩුවක් හෙවත් පංචයක් ලැබිය යුතුය. " ඔණ්ඩුව යනු එක් බෙල්ලෙක් පමණක් උඩුකුරුව සිටීමයි." පංචා පෙතේ අවසන් කොටුව ජලය වන අතර ඉත්තන්ව ජලයෙන් ගොඩ කල හැක්කේ ඔණ්ඩුවකට පමණි. මුලින් ඉත්තන් ගොඩ කල පිල ජය ගනි.


චක්ගුඩු පැනීම

මෙම ක්‍රීඩාව වැවු තාවුලක හෝ අස්වැනු නෙලා ගන්නා වෙල් යායක සිදු කරයි. භුමියේ සීමා දෙකක් ලකුණු කරගෙන හරි මැදින් කොටස් දෙකකට බෙදා මුලින් තරග කරන පිල චක්ගුඩු ගුඩු  කියමින් ප්‍රතිවාදී පිලේ සීමාවට දුවගෙන එයි. පහර කෑ ක්‍රීඩකයා පරජයට පත්වේ.


 කඹ ඇඳීම

මෙම ක්‍රීඩාව සඳහා වයස් බේදයක් නොමැත. මෙය ඔවුන් ව්‍යායාම හා විනෝදය පිණිස කරන ලදී. 


ඔලිඳ කෙළිය 

මෙය කාන්තාවන්ගේ ක්‍රීඩාවකි. කාන්තාවන් හතර දෙනෙක් ක්‍රීඩාව ආරම්භයේ සිට අවසානය තෙක් අත්වැල් ගායනා කරමින් මෙහි නියැලේ.

මෙලෙස අපට අමතක වී යන අපගේ ජන ක්‍රීඩා පිළිබඳව පුංචි මතකයක් ආවර්ජනය කර ගත හැකිය.





 




Sunday, November 26, 2017

ජන ඇදහිලි හා විශ්වාස

ජන ඇදහිලි හා විශ්වාස 

                බොහෝ ජන කොට්ඨාසයන්ට ඔවුනටම ආවේණික වු ඇදහිලි හා විශ්වාසයන් වේ. මෙතුලින් චාරිත්‍ර වාරිත්‍ර යන්නන් හදුන්වා දී, ඉදිරි පරම්පරාවට සේම වත්මනටද ඒකාකාර ලෙස සන්නිවේදන කිරිමට මෙමගින් හැකියාව ලැබේ. මෙමගින් සංස්කෘතිය රැක ගැනීමත් එකල සිදුවිය. බොහෝ ඇදහිලි හා විශ්වාස නිසා ගැමියා ධර්මයට නැඹුරු වන්නට විය. මේ කාලය තුළදී සිත, කය, වචනය, සංවර කරගනිමින් ඉවසීම ප්‍රගුණ කිරීමට අවශ්‍ය ඉඩකඩ සලසා දීමත් මෙමගින් සිදු විය.
                  
       සමහර විශ්වාසයන් නිසා ගැමියාගේ ජීවිතයේ සරුසාර බව වැඩි දියුණු වේ. ජන ඇදහිලි හා විශ්වාසයන් නිසා නිරායාසයෙන් වාචික මෙන්ම අවාචික ලෙස සන්නිවේදනය සිදුවන්නට විය.  

           යම් නිවසක සාමාජිකයෙකු හට බෝවන රෝගයක් සෑදුන විට එය අනෙකාට දැනුම් දීම සඳහා කොහොඹ කොළ, අඔ කොළ, ආදිය එල්ලීම මගින් එම නිවසේ රෝගියෙකු ඇති බව සැමදෙනාටම දැනුම් දෙයි. එමඟින් රෝගය අනෙකා හා ව්‍යාප්ත වීම නතර කරන අතර රෝගීයාටද මානසික වශයෙන් හා කායික වශයෙන් වන බලපෑම අවම කරනු ලබයි. කොහොඹ කොළ යනු විෂබීජ නාශයකයක් මෙන්ම  ඖෂධයකි. එබැවින් කොහොඹ කොළ එල්ලීම මගින් රෝගයට ප්‍රතිකාරයක්ද ලැබේ.

             ගැමියන් අතර වන තවත් විශ්වාසයක් වන්නේ ගැහැණු පාර්ශවය ඉර බැහැගෙන යන යාමයේ (ගොම්මන් යාමයේ) නිවසින් පිටත වැඩ කටයුතු සඳහා පිටතට නොයායුතු බවයි. එමගින් කාන්තාවකගේ ගෞරවය රැකදීමත් ඇගේ ආරක්ෂාවත් සලසා ඇත. එලෙස අඳුර වැටී යන විට එළිමහනේ සැරිසැරීම නිසා සතුන්ගෙන්, සර්පයන්ගෙන් හානි විය හැකි අතරම ජන විශ්වාසයක් වන අමනුෂ්‍ය බලපෑම්ද ඇති විය හැකි බවද විශ්වාස කරයි.

          රාත්‍රී කාලයේදී නිවස අතුගා කුණු  එළියට නොදමයි. එමඟින් නිවසේ සෞභාග්‍යය විනාශ වී  යන බව විශ්වාස කරයි. අතීතයේ ජනයා රාත්‍රී කාලයේ ලාම්පුවක් පත්තු කරමින් අඩු එළියක කාලය ගත කරයි. එහිදි තමන්ගේ නිවසේ (කාසි, ඉදිකටු) වැනි කුඩා දේවල් තමන්ට නොදැනීම අතු ගෑවී යා හැකි බැවිනුත් ඉන් ශරීරයට හානි සිදුවන බවයි.

             ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේණික වූ දෙවියන් අදහමින් ආගමික වතාවත්වල යෙදීමටද ගැමියන් පුරුදු වී සිටී. එමගින් කළගුණ සැලකීමත් පූජාවන් මගින් ලෙඩ රෝග සුව කර ගනිමින් තමන්ගෙ ජීවිතය සාර්ථක කර ගැනීමට ගැමියන් පුරුදු වී සිටියි. උදාහරණයක් ලෙස කොහොඔ කංකාරිය, ගම්මඩු ශාන්තිකර්මය හදුන්වා දිය හැකි අතර එමගින් සශ්‍රීකත්වය හා නීරෝගීබව අපේක්ෂා කරනු ලබයි.

             රාත්‍රි කාලයේ නියපොතු කැපීම සිදු නොකළ යුතු බවද ගැමි ජන විශ්වාසයක් වේ.  රාත්‍රි කාලයේ අඳුර නිසා කපා දැමුණු නියපොතු ඇනී තුවාල වීම වලකා ගැනීම එහි අරමුණයි. 

          මෙලෙස ගැමි ජන ඇදහිලි හා විශ්වාස නිසා එකල සමාජය ආරක්ෂා වෙමින් සංස්කෘතිය රැකෙමින් ඉදිරියට ගමන් කරන අයුරු අපට දැක ගත හැකිවේ. එම විශ්වාසයන් හා ඇදහිලි තුළවූ විද්‍යාත්මක පදනම අද වන විට නිරායාසයෙන්ම අපට තහවුරු වී හමාරය. 

                 










Saturday, November 25, 2017

    ප්‍රස්තාව පිරුලු 


           ජනශ්‍රැතියේ අගයක් වන ප්‍රස්තාව පිරුලු නිර්මාණය වී ඇත්තේ කිසියම් සිද්ධියක් පදනම් කොටගෙනය. මෙම ප්‍රස්තාව පිරුලු අවස්ථා බෙදා දැක්විය හැකිය.

  1. වෘත්තාන්ත පිරුලු 
  2. සහධර්ම පිරුලු 
  3. සත්‍ය ධර්ම පිරුලු 
  4. සතුන් මුල්කරගත් පිරුලු 
  5. අනුප්‍රාසය මුල්කරගත් පිරුලු 
  6. නවයය පිරුලු 

  • වෘත්තාන්ත පිරුලු ( සිද්ධියක් මුල්කොට ඇති )
    කිසියම් කතා පුවතක් පදනම් කරගෙන ඇති පිරුලු 
  1. කලුවා මාරපන් ගියා වගේ. 
  2. ගමරාල සිල් ගත්තා වගේ.
  3. හතර බීරි කතාව වගේ.
  4. කටුස්සාගේ කරේ රත්තරං බැන්දා වගේ.
  5. පරං ගියා කෝට්ටේ ගියා වගේ.

  • සහධර්ම පිරුලු ( සමානත්වයක් ඇති )
                                             කිසියම් ධර්මතාවයක් හඳුන්වාදීම සඳහා යෙදෙන පිරුලු 
  1. ගලේ කෙටුව අකුර වගේ.
  2. නරියා පඔ ගාලේ පැටලුනා වගේ.
  3. අගේ ඉදන් කන කනවා වගේ.
  4. උරුලෑවා ගිය පාර වගේ. 
  5. නැගපු ඉනිමගට පයින් ගහනවා වගේ.

  • සත්‍යධර්ම පිරුලු 
                                          කිසියම් ධර්මතාවයක් හදුන්වා දීම සඳහා යෙදෙන පිරුලු 
  1. ආරේ ගුණ නෑරේ. 
  2. ඇවිද්ද පය දහස් වටී.
  3. පිරුණු කළේ දිය නොසෙලේ.
  4. කට බොරු කිවුවත් දිව බොරු කෛයන්න නෑ 

  • සතුන් මුල් කරගත් පිරුලු 
  1. ලුලා නැති වලට කණයා පණ්ඩිතයාලු.
  2. ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවේ කියපි.

  • අනුප්‍රාස රසය මුල්කරගත් පිරුලු 
  1. වක්කඩේ හකුරු හැංගුවා වගේ.
  2. කොලඔට කිරි අපට කැකිරි.
  3. කොරේ පිටට මරේ.

  • නවයය පිරුලු 
  1. අලිමංකඩ යනවා කියලා පාමංකඩ ගියා වගේ.
  2. කිලිනොච්චියේ යනවා කියලා මැදවච්චියේ ගියා වගේ.






රසවත් ජන කතා

Friday, November 24, 2017



අන්දරේගේ කවීත්වය 

          
                මහලු භේදයකින් තොරව අප කවුරුත් අන්දරේගේ චරිතයට ආදරය කරනවා. රජවාසලේ කවටයා වූ ඔහු අප කාගෙත් කවට කමින් සතුටු කල බව විශේෂයෙන් කිව යුතු නැත. විටක ගොනෙකු සේ හැසිරෙමින්, තවත් විටෙක බුද්ධිමත් ලෙසත්, කටයුතු කල මොහු කවියෙකු ද වේ.  


දවසක් අන්දරේ සිය බිරිඳ සමඟ සතුටින් කතාබහ කරමින් සිටිනා විට බිරිඳවිසින් තමන්ගේ රුව ගැන කවියක් කියනා ලෙස ඉල්ලීමක් කරන ලදී. ඒ අනුව විහිලුවක් කිරිමට සිතා අන්දරේ මෙසේ වර්ණනා කළා.

හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න        පීරනා 
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න          මෝරනා 
තන දෙස බැලිමි වැටකොලු වැන්න    එල්ලෙනා 
ලිය දෙස බැලිමි වැදිරිය වැන්න දලු            කනා 


එය ඇසු ඔහුගේ බිරිඳ වේදනාවට පත්ව හඬන්නට විය. එයට දුක සිතුන අන්දරේ " නැහැ සොදුර මා එය කීවේ කවට කමටය. නුඹ ගැන නියම කවිය දැන් කියන්නම් " යැයි පවසා මේ කවිය කියන්නට විය. 

හිස දෙස බැලිමි කෙදි වැන්න                   පීරනා 
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න               ආරනා 
තන දෙස බැලිමි රන් කුඹු වැන්න ලෙළ     දෙනා 
ලිය දෙස බැලිමි සුරිය වැන්න                   පායනා