ජන ක්‍රීඩා
ජන ක්‍රීඩා පිළිබඳව කතා කිරිමේදී අපට පෙනී යන්නේ අද වන විට සමජයේ වූ කාර්ය බහුලත්වයත් සමඟ සියලු දෙනාගේ ජීවිත වලින් මේවා ගිලිහී යන ආකාරයයි. අතීත ජනයා තමන්ගේ වෙහෙස මහන්සිය නිවා ගැනීමටත් වින්දනයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව ජන ක්‍රීඩාවේ යෙදෙන්නට විය. නමුත් අද වන විට බක් මහේ අවුරුදු උත්සවය පමණක් ජන ක්‍රීඩා කොටු වී ඇති අතර එකිනෙකා පරදවා ජයග්රහණයන් ලබා ගැනීම සඳහා ජන ක්‍රීඩා භාවිතා කරයි. කෙසේ වෙතත් එකල ජන යා අතර ජන ක්‍රීඩා නිසා සාමාන්‍ය ජනතාව අතර සහයෝගය, සතුට,විශ්වාසය, බැඳීම් වැඩි දියුණු විය.
ජන ක්‍රීඩාවන්ට උදාහරණ ලෙස කොප්පර කොප්පර පිපිඤ්ඤා, මේවර කෙළිය, එලුවන් කෑම, පොරෝ සෙල්ලම, පනා හැංගීම,කජු ක්‍රීඩාව, රබන් ගැසීම, ඔන්චිල්ලා පැදීම, පංච කෙළිය, චක්ගුඩු පැනීම, කඹ ඇඳීම, ඔලිඳ කෙළිය, යනාදිය හඳුන්වා දිය හැකිය.
කොප්පර කොප්පර පිපිඤ්ඤා
බොහෝ ළමුන් පිරිසක් සහභාගි වන මෙම ක්‍රීඩාව ආරම්භයේ සියලු දෙනාම රවුමට සිට ගනී. අතු කැබැල්ලක් අරගත් එක් අයෙකු රවුම වටේ අනෙකුන් හා සංවාදයක් ගොඩ නගා ගනිමින් ගමන් කරයි.
රවුමේ සිටිනා අය "කළ ගෙඩි, කළ ගෙඩි" යැයි පැවසූ විට වටේ ගමන් කරන්නා "බෝතල, බෝතල" කියමින් රවුම වටේ දුවන අතර අත්ත තවකෙකුගේ අතේ තබයි. වටයක් අවසානයට පෙර අත්ත හිමි තැනැත්තා වටේ යන්නා ලුහුබැදීම හෝ අත්තෙන් පහරදීම කළ යුතුය.
මේවර කෙළිය
මෙම ක්‍රීඩාව කාන්තාවන්ගේ ක්‍රීඩාවකි. මේවරය යන්නෙන් අදහස් වන්නේ කණ පලදින ආභරණයක්, වළල්ලක් හෝ මෙහෙකරුවෙක් වේ. එක් කාන්තාවක් තමන්ගේ මේවරයා දුටුවාදැයි මිතුරන්ගෙන් ප්‍රශ්න කරන අතර ඔවුන් එය නොදුටු බවට දිවුරයි. නමුත් එය සඟවාගෙන සිටින්නේත් ඔවුන්මය. මෙම සිදුවීම සංවාදමය ගීතයක් ලෙස ඉදිරිපත් කරනු ලබයි.
එලුවන් කෑම
පිල් දෙකකින් යුතු මෙම ක්‍රිඩාවේ එලුවකු හා කොටියෙකු අතර ඇති දෙබසක් මෙමගින් නිරූපණය කරයි. තරගයේ ස්වාභාවය අනුව වචන උස් පහත් කරමින් ගායනය හා රංගනය සිදු වේ.
පොරෝ සෙල්ලම
මෙම ක්රීඩාවෙහිදි පිල් දෙකකට බෙදී කවියෙන් අසන ප්‍රශ්න වලට කවියෙන්ම උත්තර දෙනු ලබයි.
ගොඩේ මන්නේ මොටදෝ
පොරොව ගෙනෙන්නට නොවෙදෝ
පොරව ගෙනෙන්නේ මොටදෝ
ගහක් කපන්නට නොවෙදෝ
පනා හැංගීම
මෙම ක්‍රීඩාවෙන් යම් භාණ්ඩයක් සඟවා එය සෙවීමට උත්සහ කරනු ලබයි.
කෝ නෑනේ පනාව
යට ලීයේ පනාව
අරන් දියන් පනාව
ගිහින් ගනින් පනාව
කජු ක්‍රීඩාව
මේ ක්‍රීඩාව සඳහා කජු ඇට හයක් අවශ්‍ය වන අතර එම කජු ඇට සියල්ල එකවර උඩ දමා බිම වැටුණු විට ඒවා අතර ඇඟිල්ලකින් ඉරක් අඳිනවා. කජු ඇට නොගෑවෙන ලෙස ඇඟිලි යැවුනොත් ඒ කජු එම පිලට අයිති වේ.
රබන් ගැසීම
මෙම ක්‍රීඩාව ආරම්භ වීමට පෙර රබන් පදයකින් බුදුන්ට හා දෙවියන්ට වැඳ අවසර ඉල්ලනු ලබයි. රබන් සුරල් වැයිම, අත් මාරු කිරීම, තාලන් ලෙස රබන් වාදනයේ පියවර තුනකි.
රබන් සුරල් වැයිමේදී රබාන වටා හය දෙනෙක් වාඩි වෙයි. තිදෙනෙක් රබාන වාදනය කරන අතර අනෙක් තිදෙනා රංගනයේ යෙදේ. අත්මාරු කිරිමට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සහභාගි වෙයි. තාලන් වලදී මුලින් ගීතයක් ගායනා කල පසුව එය රබානෙන් වාදනය කරනවා.
ඔන්චිල්ලා පැදීම
වයස් බේදයකින් තොරව මෙම ක්‍රිඩාවේ සෑම දෙනාම යෙදෙන අතර මෙහිදි ගායනා කරනු ලබන කවි ඔන්චිලි වාරම් වේ.
පංච කෙළිය
මෙම ක්‍රීඩාව පිල් දෙකක් හෝ පුද්ගලයන් දෙදෙනකු හට ක්‍රීඩා කල හැකිය. එක් පිලකට සිටින්නේ ක්‍රීඩකයන් ඉරට්ටේ සංඛ්‍යාවක් වේ.ක්‍රීඩාව ආරම්භ කිරීමට නම් ඔණ්ඩුවක් හෙවත් පංචයක් ලැබිය යුතුය. " ඔණ්ඩුව යනු එක් බෙල්ලෙක් පමණක් උඩුකුරුව සිටීමයි." පංචා පෙතේ අවසන් කොටුව ජලය වන අතර ඉත්තන්ව ජලයෙන් ගොඩ කල හැක්කේ ඔණ්ඩුවකට පමණි. මුලින් ඉත්තන් ගොඩ කල පිල ජය ගනි.
චක්ගුඩු පැනීම
මෙම ක්‍රීඩාව වැවු තාවුලක හෝ අස්වැනු නෙලා ගන්නා වෙල් යායක සිදු කරයි. භුමියේ සීමා දෙකක් ලකුණු කරගෙන හරි මැදින් කොටස් දෙකකට බෙදා මුලින් තරග කරන පිල චක්ගුඩු ගුඩු කියමින් ප්‍රතිවාදී පිලේ සීමාවට දුවගෙන එයි. පහර කෑ ක්‍රීඩකයා පරජයට පත්වේ.
කඹ ඇඳීම
මෙම ක්‍රීඩාව සඳහා වයස් බේදයක් නොමැත. මෙය ඔවුන් ව්‍යායාම හා විනෝදය පිණිස කරන ලදී.
ඔලිඳ කෙළිය
මෙය කාන්තාවන්ගේ ක්‍රීඩාවකි. කාන්තාවන් හතර දෙනෙක් ක්‍රීඩාව ආරම්භයේ සිට අවසානය තෙක් අත්වැල් ගායනා කරමින් මෙහි නියැලේ.
මෙලෙස අපට අමතක වී යන අපගේ ජන ක්‍රීඩා පිළිබඳව පුංචි මතකයක් ආවර්ජනය කර ගත හැකිය.